Monday 7 October 2013

අවිද්‍යාවේ ඝණ අඳුර බිඳ විද්‍යාව උපදවා ගමු..

උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන සඳ පවා කියයි. දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ..පින්වත් මහණෙනි, එහි හිරු එළිය නැත. සඳ එළියත් නැත. වෙන එළියකුත් නැත. එහි තිබෙන්නේ මහා ඝනදුරකි. මේ ලෝකයේ එබඳු තැන්ද තිබේ. එවිට එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස හිරු එළියත් නැති, සඳ එළියත් නැති, වෙන එළියකුත් නැති ඒ මහා ඝන අඳුරටත් වඩා භයානක අඳුරු තැනක් තියෙනවාද?
..එසේය, පින්වත් භික්ෂුව, ඒ හැමටත් වඩා භයානක අඳුරු තැනක් තිබේ. ඒ අඳුරු තැන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සිතයි. (අන්ධකාර සූත‍්‍රය, සංයුක්ත නිකාය )
අප මෙතෙක් ගෙවා ආ ගමන කොතරම් දිගු දැයි අපටම නොතේරේ. අප නෙතින් ගලා ආ කඳුළු සයුර කොතරම් ගැඹුරු දැයි අපටම නොතේරේ. හදින් හෙළූ සුසුමන් කෙතරම් සැඩ දියි අපටම නොතේරේ. සසර පුරා පැතූ පැතුම් ලියා ලබන්නට මේ මහා පොළොවම තල්පතක් කළද, මදි වේයැයි, සිතේ.
අප වරක් දෙලොවටත්, තවත් වරෙක බඹලොවටත් තවත් වරෙක මනු ලොවටත් පැමිණියෙමු. සතර අපායේ ඉපදී දුක්විඳි වාර ගණන කවුරු නම් දකිත්ද?
සසර ගමනක සැරිසරන්නට බොහෝ දෙනෙකුන් බිය නැති බව සැබෑය. නමුත් සියලූ දෙනාම දුක් විඳින්නටත්, දඩුවම් ලබන්නටත් බිය වෙති. අපායේ උපදින්නට බිය වෙති. නමුත් මේ සත්‍ය පෙන්වා දෙන්නට සමත් කෙනෙක් ලොව පහළ වන්නේ කලාතුරකිනි. මේ දුර්ලභව ලැබෙන බුදු සසුනකින් පමණක් මෙය අසන්නට ලැබේ. අප කවුරුත් අවබෝධ කළ යුතු යථාර්ථයක් තිබේ. චතුරාර්ය සත්‍ය යනු එයයි. එම සත්‍යාවබෝධය ඇතිවනතුරු නොනවතින ගමනක් අපට උරුම වී තිබේ.
.. පින්වත් මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයේ යථාර්ථය අවබෝධ කළ නිසා තථාගතයන් වහන්සේට අරහත්, සම්මා සම්බුද්ධ යැයි කියනු ලැබේ. (අභිසම්බුද්ධ සූත‍්‍රය සංයුක්ත නිකාය )
.. පින්වත් මහණෙනි, චතුරාර්ය සතය යනු සනාතන දහමකි. කිසිසේත් නොවෙනස්වන දහමකි. අන් අයුරකට පත් නෙවන දෙයකි. මෙයට ආර්ය සත්‍ය යැයි කියන්නේ එනිසාමය. (තථ සූත‍්‍රය සංයුක්ත නිකාය)
චතුරාර්ය සත්‍ය අකාලික ධර්මයක් නිසා හැමදාම අලූත්ය. විද්‍යානුකූලය. නුවණැත්තන්ට විවෘතය.  ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ශ‍්‍රද්ධාව තිබේ නම් වීරියත් නුවණත් තිබේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකිය.  ඕනෑම තැනකට යාම පිණිස මාර්ගයක් තිබේ. එලෙසින්ම සත්‍යාවබෝධයට ද මාර්ගයක් තිබේ. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
සත්‍යාවබෝධයට මුල් වූ දැක්ම සම්මා දිටිඨියයි. සත්‍යබෝධයට මුල් වූ කල්පනාව සම්මා සංකල්පයයි. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි වචන හැසිරවීම ක‍්‍රියා කිරීම, ජීවත් වීමද ඒ මාර්ගයට අයත්ය. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි උත්සාහ කිරීම සිහිය පිහිටු වීම, සමාධිය දියුණු කිරීමද ඒ මාර්ගයමය. කෙනෙකු මුළුමනින්ම සසරින් නිදහස් වෙන්නේ මාර්ගයේ ගමන් කිරීමෙනි. අවස්ථා හතරක් තුළ නිවන් මග ප‍්‍රගුණ වේ. පළමු අවස්ථාව සෝවාන් වීමය. එහි තේරුම සම්මා දිට්ඨිය තුළින් මේ නිවන් මග හොඳින් හඳුනාගෙන,ඒ මගට පිවිසීමය.  සෝවාන් වීම පිණිස ඉතා පැහැදිළි ලෙස චතුර් ආර්ය සත්‍ය ගැන අසා දැනගත යුතුය.
ඒ ඇසූ ධර්මය ඔස්සේ තම චින්තනය මෙහෙය විය යුතුය. නුවණින් මෙනෙහි කිරීම භාවනාවට අදාළ කොටසකි. සෝවාන් වූ නෙකෙකුට සත්‍ය ඥානය තිබේ.
සත්‍ය ඥානය යනු කුමක්්ද? මේ දුක  ආර්ය සත්‍යයකි. මේ දුක් හට ගැනීමත් ආර්ය සත්‍යයකි. දුක් නැතිවීම පිණිස උපකාර වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද ආර්ය සත්‍යයකි. මෙයයි සත්‍ය ඥානය. දුක්ඛ සත්‍ය ගැන සෝවාන් කෙනෙකු තුළ ඉතා පැහැදිලි අවබෝධයක් තිබේ. සක්කාය දිට්ඨිය ග‍්‍රහණය වීමට හේතු වන්නේද හයමය. මේ ජීවිතය කොටස් පහකින් යුක්තය. ඒවා හඳුන්වනුයේ පංච උපාදානස්කන්ද නමිනි.
හතර මහා ධාතූන්ගෙන් හටගත් රූපත්, ස්පර්ශයෙන් හටගත් වේදනා, ස්පර්ශයෙන් හටගත් පඤ්ඤා, ස්පර්ශයෙන් හටගත් චේතනාත් නාම රූපයෙන් හටගත් විඤ්ඤාණය යන මෙය පංච උපාදානස්කන්ධයයි. දුක වශයෙන් බුදු සමිඳුන් පෙන්වා වදාළේ මේ පංච උපාදානස්කන්ධයයි. මේ පංච උපාදානස්කන්ධයටම .. සක්කාය යයි කියනු ලැබේ. ඒ ගමන් ගත් පඤ්ච උපාදානස්කන්ධය තුළ තමන්ට අවශ්‍ය පරිදි, තමාගේ අභිමතය පරිදි හෝ බාහිර කෙනෙකුගේ වුවමනාව මත හෝ පැවැත්විය හැකි ආත්මයක් ඇතැයි යන හැඟීම සක්කාය දිට්ඨියයි. ඒ හැඟීම මුළුමනින්ම දුරුවන්නට නම්, පංච උපාදානස්කන්ධය හට ගන්නා ආකාරයෙන් නැසී යන ආකාරයත්, පංච උපාදානස්කන්ධය නිසා ඇතිවන ආස්වාදයත් ඒ නිසාම විඳින ආදීනවයත් ඒ පංච උපාදානස්ඛන්ධය කෙරෙහි ඇති ඇලව දුරු කිරීමෙන් එයින් නිදහස් වෙන්නට පුළුවන් බවත් යන මේ කරුණු අවබෝධය සමත් සෝවාන් පුද්ගලයා තුළ දුක පිළිබඳ සත්‍ය ඥානය ඇතිවේ. ඉතිරි ආර්ය සත්‍ය ගැනත් සත්‍ය ඥානය ඇතිවන්නේ ඒ සමගය. දස්සන සම්පත්තිය කියන්නේ එයටයි. ඒ අවබෝධය ඇතිවෙන විට ඔහු තුළින් සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය වේ.
තමා තුළින් දුක තේරුම් ගත් කෙනෙකුට මෙතෙක් දුක පැවතුන ආකාරයද වැටහේ. වර්තමානයේ දුක පවතින ආකාරයද වැටහේ. ඒ ගැන බුදු සමිඳුන්ගේ අවබෝධය පරම සත්‍යයක් බව වැටහේ. බුදු සමිඳුන් එය පහදා දුන් ධර්මයද වැටහේ. ඒ මග ගමන් ගත් මහ ඵල ලාභීන්ගේ ජීවිත ගැනද වැටහේ. කය වචනය සංවර කරගෙන චිත්ත දමනයකින් යුතු සමථ විදර්ශනාවම දියුණු කළ යුතු බවද වැටහේ. එබඳු කෙනෙකුට සැකයක් කොයින්ද?
විචිකිචිචාව නැතිවිම යනු එයයි.
එබඳු කෙනෙක් බුදු සසුනේ වදාළ විනය වන සිල්පද රැකීමට ඉතා කැමතිය. සීල සංවරයෙන් ඉන්ද්‍රිය සංවරයෙන්, ආර්ය මාර්ගය පිරිසිදු වන බව ඔහු දන්නා නිසාය. එවැන්නකුට සීලබ්බතපරාමසයක් කොයින්ද?
මෙලෙසින් සම්මා දිට්ඨිය ඇතිවූ ආර්ය ශ‍්‍රාවකයා ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස, සම්මා දිට්ඨිය පාදක කරගෙන සම්මා වායාම සමමා සති යන ගුණ දහම් දියුණු කරගෙන ඉතිරි මාර්ගාංග ඒ නිසා දියුණු කරන ලද සිහියෙන් යුක්තව සතුන් මැරීමෙන් වළකී, සොරකම් කිරීමෙන් වළකී. පිරිසිදු චරිතයන් ගොඩනගා ගනී. ධාර්මික පැවැත්මක් ඇති කර ගනී. තමන් ගත කරන ඒ ධාර්මික ජිවිතය දෙස බලා මහත් සතුටක් ලබයි.
මේ ආකාරයෙන් සම්මා දිට්ඨියෙන් යුතු ශ‍්‍රාවකයා, කය, වචනය. සංවර කරගෙන සිහි නුවණ දියුණු කර ගනී. ඒ සඳහා කළ යුත්තේ සතර සතිපට්ඨානය වැඞීමයි. කායික ස්වභාවයන් ගැන සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සනාව නම් වේ. විඳිම් ගැන සිහිය පිහිටුවා ගැනීම වේදනානුපස්සනාව නම් වේ. සිත ගැන සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනා නම් වේ. පංචඋපාදානස්කන්ධය ගැනත්, ආයතන හය ගැනත්, බොජ්ජක්ඛග ධර්ම ගැනත් චතුර්ආර්ය සත්‍ය ගැනත් සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනා නම් වේ. කායානුපස්සනාවේදී ආනාපානාසති, අශුසා මනසිකාරය, ධාතුමනසිකාරය, ඉරියව් පැවැත්ම සිහි කිරීම, නුවණින් සළකා ඉරියව් හැසිරවීම හෙවත් සති සම්පජඤ්ඤය, මෘත ශරීරයක් අමු සොහොනක අතහර දමා ගිය විට ඒම මෘත ශරීරය කෙමෙන් කෙමෙන් කුණුවී , විනාශ වී පොළොවට පස් වී යන තෙක් නුවණින් විමසා බලා මේ ශරීරයත් එබඳු ස්වභාවයෙන් යුක්ත යැයි සැළකීම හෙවත් නව සීවඨිකය යන මේ සියල්ල අයත් වන්නේ කායානුපස්සනා සතිපට්ඨානයයි. මේ කවර හෝ භාවනාවක් ඔස්සේ දිගින් දිගට සිහිය පවත්නවිට පංච නීවරණ සංසිඳි යයි. සිත එකඟ වෙයි.සමාධිය ඇතිවෙයි.
එමෙන්ම ස්පර්ශය ප‍්‍රත්‍යයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා පිළිබඳව මනා සිහියෙන් යුක්තව සිටීම වේදනානුපස්සනාවයි. වේදනානුපස්සනාව තුළින් සිහිය දියුණු කර ගැනීම අවශ්‍ය බවත් පැහැදිලි කරුණකි. ඇතවෙන නැතිවෙන සිත් ගැන සිහියෙන් සිටීම, චිත්තානුපස්සනාවයි.
සරාගී සිතක් ඇති විට එය වහා හඳුනා ගනී, දුබල සිතක් ඇතිවෙන විට එය වහා හඳුනා ගනී, රාග රහිත සිතක් ඇතිවෙන විට එයත් හඳුනා ගනී. ද්වේෂ රහිත සිතක් ඇතිවන විට එයත් හඳුනා ගනී, මෝහ රහිත සිතක් ඇතිවන විට එයත් හඳුනා ගනී, නිදිමත හැකිළී ගිය සිතක් ඇති විට එයත් හඳුනා ගනී, බාහිරව විසිරී ගිය සිතක්ඇති වන විට එයත් හඳුනා ගනී, එකඟවන සිතක් ඇතිවනවිට එයත් හඳුනා ගනී, ධ්‍යාන සිතක් ඇතිවිට එයත් හඳුනා ගනී. මේ ආදී වශයෙන් ඒ ඒ කරුණු මත සිතේ සකස් වන ස්වභාවය හොඳින් හඳුනා ගැනීම චිත්තානුපස්සනාවට අයත් වේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ සම්මා දිට්ඨිය තුළින් ඇති කරගත් නුවණින් යුක්තව මතා කොට කල්පනාව හසුරුවමින්, වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව මේ අනුපස්සනාව වැඩිය යුතු බවයි.
එමෙන්ම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාධානස්ඛන්ධයේ ස්වභාවයත්, ඒ පංච උපාදානස්ඛන්ධය මුල් කොටය සසර ගමන සකස් වන ආකාරයත් ඒ පංච උපාදානස්ඛන්ධයේ යථාර්ථය අවබෝධ කොටගෙන පංච උපාදානස්ඛන්ධය භව ගමනක් පිණිස සකස් නොවන ආකාරයට දැන ගැනීමත් අයත් වන්නේ ධම්මානුපස්සනාවටයි.
සෝතාපන්න වූ ශ‍්‍රාවකයා රාගය ඇතිවන විට එය ඇති වන්නේ සරාගී අරමුණක් ගැන නුවණින් මෙනෙහි කිරීමෙන් බව වහා තේරුම් ගනී, දුබලයක් ඇතිවූ විට එය ඇතිවන්නේ දුබල සහගත අරමුණක් අනුවණින් මෙනෙහි කිරීම නිසා බවත් වහා තේරුම් ගනී, තමා තුළ සකස් වන වැරදි කල්පනාවේ මුල අයෝනිසෝ මනසිකාරය පබව ඔහුට පැහැදිලිය. ඔහු එය දුරු කර ගැනීම පිණිස යළි යළිත් යෝනිසෝමනසිකාරය ඇති කර ගනී. යෝනිසෝමනසිකාරය දියුණු කිරීමට බලවත්ම බාධාව වන්නේ පංච නීවරණයි. ආර්ය සත්‍යාවබෝධය වළක්වන, පාපී අකුසලයටම ඇදී යන ප‍්‍රමාදය ඇතිකරවන ගතියක් පංච නීවරණ තුළ තිබේ. පංච නීවරන යනු කාමාශාව ඇතිවන අරමුණු ඔස්සේ සිත බැඳී පැවතීම නම් වූ කාමච්ජන්දය ද්වේශය, ඇතිවන අරමුණු ඔස්සේ සිත බැඳී පැවීම නම් වූ ව්‍යාපාදය, විර්යත්, සිහියත් පිහිටුවා ගැනීමට ප‍්‍රබල බාධාවත්ව පවතින නිදිමත හා අලස බව නම් වු ඨීනමිද්ධය සිතේ සංසිඳීමට බලවත් බාධා ඇතිවන සිතේ විසිරීමත්, පසුතැවිල්ලත් නම් වූ උද්ධච්ච කුක්කුච්චය තමන්ගේ භාවනා මාර්ගය ගැන සැකය නමු වූ විචිකිච්චාව නම් වූ මේ පහයි. පංච නීවරණ දුරුකර ගැනීමේ අවශ්‍යතාව සෝවාන් පුද්ගලයා තුළ නිතැතින්ම ඇතිවේ. හේ පංච නීවරණයන්ට හිතකර දෙයින් බැහැර වීමට මහන්සි දරයි. සරාගි අරමුණු තුළ ඇසිපිය හෙළන මොහොතකත් වඩා වේගයෙන් කාමච්චන්දය හටගනී, සෝතාපන්න ආර්ය ශ‍්‍රාවකයා මෙය නීවරණයක් බව හොඳින් හඳුනා ගනී. ඒ කාමච්ජන්දය දුරු කර ගැනීම පිණිස මහත් විරියෙන් යුක්තව පිළිකුල් භාවනාවේ යෙදෙයි. ශරීරයේ ඇති පිළිකුල් කොටස් වෙන් වෙන් වශයෙන් විමසා බලයි. සතර මහා ධාතූන්ට අයත්වූ ඒ ඒ කොටස් වෙන් වෙන්ව විමසා බලයි. මෘත ශරීරයක් ඉදිමී කුණු වී පොළොවට පස් වි යන තෙක් නුවණින් සිහි කරයි.
ඒ භාවනාවන් දියුණු වේගෙන යන විට සරාගී, අරමුණු වලට හිත ඇදී යන ගතිය අඩුවෙයි. මෛත‍්‍රී භාවනාව දියුණු කරන විට, ද්වේෂ සහගත අරමුණු වලට සිත ඇදි යන ගතිය අඩු වෙයි. එවිට ආනාපානාසති ආදියත් පංචුපාදානස්ඛන්ධයේ අනිත්‍ය භාවනාවක් ආදිය දියුණු කරගත හැකිය.
කෙනෙකු සිහිකල්පනාවෙන් නොසිටියොත් තමාගේ වදන අසංවර වන මොහොත දැනගත නොහැකිය. නමුත් සිහිය දියුණු කරන විට, බොරුවක් කීමට සූදානම් වන විට සිහිය උපදී, කටින් කේලමක් පිටවෙන්නට සූදානම් වන විටම මෙය කේලමක් බවට සිහිය උපදී, පරුෂ වචන කටින් පිටවන විටම සිහිය උපදී, අර්ථ ශුන්‍ය හිස් වචන කථාවෙන විටම සිහිය උපදී, එවිට ඔහු කරන්නේ ඒ අකුසල් වචන කටින් පිටවෙන්නට නොදී වහා සංවර කරගෙන විරිය ඇති කර ගැනීමයි. ධර්ම කථාව පටන් ගැනීමයි. එසේත් නැතිනම් නිශ්ශබ්දව සිටීමයි. ආර්ය මාර්ගය හොඳින් ප‍්‍රගුණ වන විට වචනයෙන් අකුසල් සිදුවීම නැත්තමට නැතිවි යනු ඇත.
කයින් සිදුවන අකුසල් වලින් වැළකීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා ඇති වඩාත් පහසු ක‍්‍රමය නම් ශික්ෂාපදවල හික්මීමයි. වරදින් අත්මිදෙන්නට ඔහු සීමාව හැටියට ලබා ගන්නේ ශික්ෂා පදයි. ඔහු තුළ පවට ලජ්ජාවක්, විපාකයට භයක් ඇතිවේ.
එමෙන්ම මේ ඇස් කන් ආදී ආයතනත් රූප, ගන්ධ ආදී බාහිර ආයතනත් මුල් කරගෙන සංසාරය සකස් වන ආකාරයත් ඒ ආයතනම අවබෝධ කර ගැනීමෙන්  සංසාරයෙන් නිදහස් වන ආකාරයත් නුවණින් විමසීම අයත් වන්නේද ධම්මානුපස්සනාවටයි. ඊළඟට විස්තර වන්නේ බොජ්ජඣංගධර්ම ගැනයි.
බොජ්ජඣංග යනු චතුරාර්ය අවබෝධය ඇති කරවන අංගයන්ය. ඒ බොජ්ජඣංග ධර්ම  හතක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දී තිබේ. ඒවා නම් සති ධම්ම විවය විරිය ප‍්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා යන බොජ්ජඣංග ධර්මයන්ය. ඒවා වැඩිය යුතුය. මේවා දියුණු කරන්නට පෙර කළ යුත්තේ සතිපට්ඨානය තුළ සමාධිය දියුණු කර ගැනීමය.
සම්මා සමාධිය යනුවෙන් ධර්මයේ සඳහන් වනුයේ ආර්ය මාර්ගයේ අනික් මාර්ගාංගයන් සමග යෙදෙන සිතේ එකඟ බවයි. සතිපට්ඨානයේ මනාකොට සිහිය පිහිටන විට සමාධිය ඇති විටය
ස්වභාවික දෙයකි. අපගේ බුදු සමිඳුන් සම්මා සමාධිය වශයෙන් වදාළේ ධ්‍යාන හතරය. ධ්‍යාන හතර දියුණු කරගත යුත්තේ සතිපට්ඨානය තුළින්මය. කෙනෙකු ආනාපානාසතිය වඩනවා යැයි සිතනවා. සමහරවිට එය අශුභ භාවනාව හෝ ධාතුමනසිකාරය වැනි දෙයක් විය හැකිය. භාවනාවකදි මුලින්ම කරන්නේ සිත කය, වචනය, සංවර කර ගැනීමයි. ඉන් පසුව වචී සංස්කාර හෙවත් විතක්ක විචාර මුල්කරගෙන භාවනා අරමුණු ගැන මනසිකාරයේ යෙදෙයි. ආනාපානාසතිය ගැන ඇති විතර්ක විචාර නම් තමන් හුස්ම ගැනීමත්, හුස්ම හෙළිමත් ගැනත් සිහි කිරීමයි. අශුබ භාවනාවේ විතක්ක විචාරය නම් දෙතිස් කුණප වෙන්වෙන් වශයෙන් ගෙන මෙනෙහි කිරීමයි. ස්කන්ධ භාවනාවේ විතක්ක විචාරය නම් පංච උපාදානස්කන්ධයන් වෙන් වෙන් වශයෙන් මෙනෙහි කිරීමයි. මේ සෑම භාවනාවක්ම කරන්නේ විතක්ක විචාර මුල් කොට ගත් විරියෙන් හා සිහියෙන් යුක්තවය. මේ ආකාරයෙන් ඕනෑම භාවනාවක් අරඹන්නේ විතක්ක විචාරයන් මුල් කොටගෙනය. දිගන් දිගටම විතක්ක විචාර මුල් කොටගෙන  භාවනා අරමුනේ සිහිය පිහිටු වීමට උත්සාහ දරන විට පංච නීවරන යටපත් වීම නිසා ඒ භාවනා අරමුනේම සිහිය පිහිටුවන්නට පටන් ගනී, නීවරණයන් යටපත් වීමෙන් මනාකොට සිහිය උපදින විට හිතට ප‍්‍රීතියක් ඇතිවේ. සිතේ ප‍්‍රීතිය නිසා කය සැහැල්ලූ වේ. කය සැහැල්ලූ වන විට මහත් සැපයක් ඇති වෙයි. ඒ සැපය නිසාම සිත සමාධිගත වෙයි. ඒ සමාධිය තුළ බොහෝ වේලාවක් සිත රඳවා ගන්ට පුරුදු කිරීමෙන් ඒ සමාධිය බලවත් වනු ඇත. එයට ඔහු තුළ තිබෙන්නේ විතක්ක විචාර ප‍්‍රීති සුඛ, ඒකග්ගතා යන අංග පහෙන් යුතු පළමුවෙනි ධ්‍යානයයි. පළවෙනි ධ්‍යානය හොඳට පුරුදු කළ විට ඒ ධ්‍යානය තව දුරටත් බලවත් කර ගැනීමට ඇති බාධාව කුමක්දැයි නුවණින් විමසයි. අතරින් පතර බාහිර සිතිවිලි වලට සිත යොමුවිමත් නැවත වහා භාවනා අරමුණට සිත පැමිණීමත් ප‍්‍රථම ධ්‍යානයේ ස්වභාවයයි. බාහිර අරමුනු ඔස්සේ සිත ගමන් කිරීමට හේතුවන්නේ විතක්ක විචාරයන්ගේ පැවැත්ම නිසාය. මෙය තේරුම් ගන්නා ඔහු එය විතක්ක විචාරයන්ගේ ආදීනවයන් ලෙස සළකයි.
විතක්ක විචාර හෙවත් වචනයේ මනසිකාර කිරීම සමාහිත සිතින් වළක්වා ගනී, විතක්ක විචාරවලින් තොරව භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නට සමත් වෙයි. එවිට තමා තුළ ඇති සමාධිය වඩ වඩාත් ප‍්‍රකට වෙන්නට පටන් ගනී, භාවනාවට මුල් කරගත් විතක්ක විචාරයන් සංසිඳී යයි. ඒ තුළින් ඇති වන සිතේ එකගකම නිසා සමාධිය බලවත් වෙයි.
දැන් ඔහු ප‍්‍රීතියට පත්වන්නේ සමාධිය තුළින්ය. විතක්ක විචාර සංසිඳී ගිය ප‍්‍රීතියක් සැපයක් එකඟ බවක් ඇති දෙවන ධ්‍යානය වශයෙන් හඳුන්වන්නේ එයයි. පළමුවන ධ්‍යානයේ වෙනසත් දෙවන ධ්‍යානයේ වෙනසත් හොඳින් දැන ගනී,
දෙවැනි ධ්‍යානය මැනවින් පුරුදු කරන ශ‍්‍රාවකයා තමාගේ සිත වඩාත් ඇලෙන්නේ ප‍්‍රීතියට බව තේරුම් ගනී. සමාධියෙන් හටගත් ප‍්‍රීති සුඛයෙහි සිත ඇලී පැවතීම ගැන ඔහු අකමැති වෙයි. සමාධි බලය නිසාම ප‍්‍රීතියේ නොඇලී සිටීමට ඔහු වීරිය කරයි. එවිට කෙමෙන් කෙමෙන් සිත මධ්‍යස්ථ වෙයි. තවදුරටත් සිහිය දියුණු වේ. නුවණ දියුණු වේ. කයේ ඇතිවුණු සැහැල්ලූ බව වඩාත් ප‍්‍රකට වෙයි. එනිසාම කයින් සැප විඳි. එවිට ඔහු තුළ තිබෙන්නේ උපේක්ෂා සහගතවූත් වූත් හොඳින් සිහිය පිහිටුවා වූත්, සැප සහගත පැවැත්මකි. තුන්වන ධ්‍යානය යනු එයයි.
තුන්වන ධ්‍යානයද මනා කොට ප‍්‍රගුණ කරන ශ‍්‍රාවකයා කායික සැපය කායික දුක අත්හරී. මානසික සැපයත් මානසික දුකක් අත්හරී. එවිට කෙමෙන් කෙමෙන් ඒ සිහිය ඉතා ප‍්‍රභාශ්වර වෙයි. ඉතා පැහැදිලි වෙයි. පරිසිදු වෙයි. කිසිවෙකුට සෙළවිය නොහැකිපරිදි උපේක්ෂා සහගත ලෙස සමාධියේ පිහිටයි.
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ‍්‍රාවකයා මනාකොට සමාධිය හසුරුවා ගැනීමට සමත් වෙයි. මෙසේ සමාධිමත් සිතින් යුතු ඔහු පංච උපාදානස්ඛන්ධයේ යථා ස්වභාවය නුවණින් විමසීමට පටන් ගනී. දැන් ඔහු තුළ වැඩෙන්නේ සප්ත බොජ්ජක්ධගයන්ය. සමාධිය වඩන කාලය තුළම වෙන් වෙන් වශයෙන් විදර්ශනාව වඩා පුහුණු කොට තිබීම ඉතා ප‍්‍රයෝජනවත්ය. පංච   උපාදානස්ඛන්ධයන් ගැන ධාතු ස්වභාවයන් ගැන ආයතන ගැකන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනසිකාර කිරිමෙන් ලත් අවබෝධය මෙහිදී මහෝපකාරී වෙයි. ආර්ය සත්‍යාව බෝධය උදෙසා මනා කොට සිහිය හසුරුවන්නට පුළුවන් වන්නේ එවිටය. එය හඳුන්වන්නේ සති සම්බොජ්ජංගය නමින්ය. කායානු පස්සනාව තුළින් වේදනානුස්සනාව තුළත්, චිත්තානුපස්සනාව තුළත් ධම්මානු පස්සනාව තුළත් පංචුපාදානස්ඛන්ධය පවතින බව ඔහු අවබෝධ කර ගනී, ඒ පංචුපාදනස්ඛන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්. අනාත්ම වශයෙන් රෝගී වශයෙන්, පීඩා වශයෙන් අනුන්ගේ දෙයක් වශයෙක් හිස් දෙයක් වශයෙන් නුවණින් මනාකොට විමසන විට ඒ කෙරෙහි නොඇල්ම ඇති වෙයි. එවිට ඔහු තුළ ගොඩනැගෙන්නේ ධම්ම විචය සම්බොජ්ජංගයයි. ධම්මච්චය සම්බොජ්ජසම්ඛධගය වඩන ශ‍්‍රාවකයා පටිච්චසමුප්පාද ධර්මය මනාකොට නුවණින් විමසන්නට සමක් වෙයි. හේතුඵල ධර්මය විනිවිද දකියි. හේතූන් ඇතිවීමෙන් ඵල හට ගන්නා අයුරුත් ඒ හේතූන්ම නැති වීමෙන් ඵල නැතිවන අයුරුත් නුවණින් අවබෝධ වෙයි.
මෙසේ ධම්ම විනය සම්බොජ්ජක්ධගය වඩන ශ‍්‍රාවකයා තුළ වීර්ය මැනවින් පිහිටයි. අකුසලයන් ප‍්‍රහානය කිරීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. කුසල ධර්මයන් දියුණු කර ගැරනීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. සමථ විදර්ශනාවේ සිහිය පිහිටුවා ගැනීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. ආර්ය සත්‍යාවබෝධවයට මුල්වන ආකාරයට ඉතා හොඳින් වීරිය කිරීම වීරිය සම්බොජ්ජඣගයයි.
මෙසේ ආර්ය සත්‍යාවබෝධය පිණිස සිහිය පිහිටන විට, ප‍්‍රඥාව වැඩෙන විට, වීරිය වැඩෙන විට ඒ ආර්ය ශ‍්‍රාවකයා තුළ මහත් ප‍්‍රීතියක් හටගනී. ඔහු ඒ පී‍්‍රතිය තුළද දකින්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ දුක් වූ අනාත්ම වූ ධර්මතාවක් මිස වෙන දෙයක් නොවේ. එවිට ඒ ප‍්‍රීතිය පවා පවතින්නේ ආර්ය ෂත්‍යාවබෝධයේ අංගයක් වශයෙනි. ප‍්‍රීති සම්බොජ්ජංගය වශයෙන් හඳුන්වනුයේ එයයි. ප‍්‍රීතිමත් සිතක් ඇති විට කය සැහැල්ලූ වීම නිතැතින්ම සිදුවේ. එවිට සිතද සැහැල්ලූ වේ. ශ‍්‍රාවකයා කොතරම් බුද්ධිමත් ද යත් ඔහු ඒ සැහැල්ලූවට පවා වසඟ නොවේ. ඒ සැහැල්ලූ බවද විදර්ශනාවට හරවන්නට තරම් සමර්ථ වේ. ඒ තුළින් පංච උපාදානස්කන්ධයම දකී. එවිට ඔහු තුළ වැඩෙන්නේ පස්සද්ධි සම්බොඤ්ධගයයි. මෙසේ සමථ විදර්ශනා දෙකම බලවත්ව වැඩෙන්නේ බොජ්ජක්ධග ධර්මයන් තුලය. දැන් ඔහු තුළ තිබෙන්නේ මැනවින් සමාධිමත්වූ සිතකි. ඒ සමාධිය තුළත් අනිත්‍ය වූ පංචුපාදානස්කන්ධයක් මිස වෙන කිසිවක් නැති බවට ශ‍්‍රාවකයා දන්නා හෙයින් ඔහු පංච උපාදානස්කන්ධ දුක සමාධියක් තුළින් දකින්නට පවා සමර්ථ වෙයි. සමාධි සම්බොජ්ජගය යනු එයයි. සමාධියේ නොඇලෙන සිතේ ස්වභාවය නම් උපේක්ෂාවට පත්වීමයි. නමුත් ඔහු ඒ උපේක්ෂාවේ පවා නොඇලේ. ඒ උපේක්ෂාව තුළත් පංචුපාදාස්ඛන්ධය දකී. ත‍්‍රිලක්ෂණය දකි, මේ ආකාරයට මනා කොට සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත් ශ‍්‍රාවකයා තුළ සප්ත බොජ්ජගයේ සිහිය පිහිටුවා ගකත් විට අවබෝධ කල යුතු වූ දුක්ඛ ආර්ය සත්‍ය වන පංච උපාදානක්ඛන්ධය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ ගර ගනී. ප‍්‍රහානය කළ යුතු දුක්ඛ ආර්ය සත්‍ය වන පංච උපාදානස්ඛන්ධය කෙරෙහි ඇති අවිද්‍යාවත්, තණ්හාවත් මුළුමනින්ම ප‍්‍රහානය කර දමයි. සාක්ෂාත් කල  යුතු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වන අවිද්‍යාව දුරු වීමෙන් ලබන විද්‍යාවෙන් තණ්හාව දුරු වීමෙන් ලබන විමුක්තියත් සාක්ෂාත් කරගනී, ප‍්‍රගුණ කළ යුතු වූ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය වන ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සීල, සමාධි, ප‍්‍රඥා තුළ මැනවින් ප‍්‍රගුණ කර ගනි. එවිට ඒ ආර්ය ශ‍්‍රාවකයා විමුක්තියට පත් වූ රහතන් වහන්නේ නමකි. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් නිසාය ඔහු නිකෙළෙස් වූයේ. තමා ලත් විමුක්තිය ගැන ඤාණ දර්ශනයක් ද රහතන් වහන්සේට තිබේ. ඒ විමුක්ති ඥාන දර්ශනයයි. එනම්, චතුර් ආර්ය සත්‍ය ගැන පවතින කෘත ඤාණයයි.
කෘත ඤාණය යනු අවබෝධ කලයුතු දුක අවබෝධ කළ බවටත් ප‍්‍රහානය කළ යුතු දුක්ඛ සමුදය ප‍්‍රහානය කරගත් බවටත් වැඩිය යුතු නිවන් මග ප‍්‍රගුණ කොට අවසන් කළ බවටත් තමන් තුල ඇති ඤාණයයි. තමන්ගේ යළි යළි ඉපදෙන ජීවිත ගමන අවසන් වූ බවත් නිවන් මග සම්පූර්ණ කරගත් බවත්, නැවත කිසි දිනෙක සසර දුකින් නැති බවත් අවබෝධ කර ගනී.
මෙසේ සසර දුකට පත්වී සිටිය සතර අපායේ වැටි වැටී නිමක් නැති දුක් කඳුළු සෝ සුසුම් හෙළමින් ගමන් කළ සසර ගමන අවසන් කරගත හැකි වනුයේ බුදු සසුනක් තුළදීමය. බුදු සමිඳුන් පෙන්වා වදාළ නිවන් මගේ ගමන් කොට, ඒ අමා නිවන් සුව ලද රහතන් වහන්සේලා ජීවිතය අවසන් වීමත් සමගම නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ, අනුපාදා පරිනිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගනිමින් සදාකාලික සැපය වන අමා මහ නිවනට පත් වෙති.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.