Saturday 1 June 2013

මිනිත්තු 23ක් නිරය තුළ




අපි හැමෝම අපාය ගැන අහල තියෙනවනෙ. අපායවල් හතරක් ගැනම​. බුද්ධ දේශනා වල මේව විස්තර වෙන්නේ තිරිසන් ලෝකය​, ප්‍රේත ලෝකය​, අසුර ලෝකය හා නිරය විදියට​. නිරය තමයි දුක්ඛිතම ලෝකය​. ඒ නිරය ගැන ඕනෑ තරම් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා. ඒ තුළින් අපි මනස තුළ චිත්‍රයක් මවා ගන්නවා නිරය මේ ආකාරයි කියලා. මොකද මනුෂ්‍ය ලෝකෙ ඉඳන් නිරය දකින්න අපිට බැහැනෙ. ඒක බුදු නුවණින්ම සිදු කරන දෙයක්. නමුත් මේ වතාවෙ අපිට තරමක් සුවිශේෂ කෙනෙක් හමු වුනා. නොසිතූ විරූ පරිදි, නොසිතූ විරූ මොහොතක, නොසිතූ විරූ ආකාරයෙන් තම ජීවිතයෙන් මිනිත්තු 23ක් නිරය තුළ ගත කොට නැවත අපි අතරට පැමිණි ඔහු නමින් 'බිල්'…. බිල් වයිස්.


එයා තම ඇස් දෙකින් දැක්කා සිව් දිගින් ඇවිලෙන ගිනිදැල් හාත්පස වෙලාගෙන සියල්ල දවාලන ආකාරය​. පුළුටු ගඳ​, මිනීකුණු ගඳ ඔහුට හොඳින්ම දැනුනා. භයින්, ත්‍රාසයෙන්, වේදනාවෙන් නිරිසතුන් විඳින දුක ඔහු දැක්කා. මරබියෙන්, වේදනාවෙන් නඟන විලාප හඬ ඔහුට ඇසුනා. ඒ වේදනාවේ දෝංකාරය තවමත් ඔහුගේ සවන් යුග අතර රැව්පිළිරැව් දෙනවා. නිරිසතුන්ට දෙන අනේක වද හිංසා ඔහු සියැසින්ම දැක්කා. ලෝදිය පිරි නරාවල තුළ ඔහු විඳි සජීවී අත්දැකීම සැබැවින්ම ලොමු දැහැගැන්වෙන සුළුයි. මහා අන්ධකාරයක ඔහු විඳි මේ කටුක​, අත්භූත අත්දැකීම ඔහුගේම වචන වලින් ඔහු විස්තර කරනවා. මේ සියල්ලම සිද්ධ වුනේ විනාඩි 23ක් තුලදි යි.

මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ වගේම අනෙකුත් බුද්ධ දේශනා වල සඳහන් වන 'නිරය​' ගැන ඇස දුටු සක්‍ෂියක් තමයි මේ බිල්. බිල්ගේ අත්දැකීම කියවන විට අපිට එක දෙයක් මොනවාට පැහැදිලි වෙනව. ඒ තමයි බිල් අන් අයගේ අවධානය දිනා ගැනීමට හුදු ප්‍රබන්ධ කතාවක් ඉදිරිපත් නොකරන බව​. අපාය මොන වගේ ද​, ඕව තියෙන්නෙ කොහෙද​, ඔය යමපල්ලො ඇත්තටම ඉන්නවද​, අපාය විශ්වාස කරන්න පුළුවන් ද ආදී වශයෙන් දහසක් ප්‍රශ්න නඟන බොහෝ දෙනාට 'බිල්' කදිම සජීවී පිළිතුරක්. බිල් දුටු, ඔහු විසින් විස්තර කරන නිරය මුළුමනින්ම බුද්ධ දේශනාවේ විස්තර කෙරෙනෙ නිරය ම යි.

නමුත් අවාසනාවට බිල් ප්‍රමුඛ බටහිර දන්නෙ නැහැ එයාලට කලින් අපගේ ශාස්තෘන් වහන්සේ මේ නිරය බුදු ඇසින් දැකලා වදාරණ ලද බව​. ඒ නිසා එයාල බයිබලය තුළ හිරවෙලා මේ අත්දැකීම විස්තර කරන අසාර්ථක උත්සහයක නිරත වෙලා ඉන්නවා.

ඉතින් තිලොවින් උතුම්ම සරණේ පිහිට ලබපු අපි තවත් කුමට නම් ප්‍රමාද වන්න ද?​ ....


 බුදුරජාණන් වහන්සේ මේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශණා කර තිබෙනවා. මේ නිර අතුරින්,
සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් තිබෙනවා. මේ නිරයන හතරැස් හැඩයෙන් යුක්ත යි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයක් වටේට කුඩා නිර 16ක් ති‍බෙනවා.
සඤ්ජීව නිරය - යමපල්ලන් විසින් එහි උපන් සත්වයන්  ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි වලට කපද්දී ත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැදින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමග කොළාහළ කළ, දුලභයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජීව නිරයේ උපදිනවා.

කාල සූත්‍ර නිරය - මෙහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාල සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට, ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විදිනවා.

සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරලී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුනු විසුනුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විදිනවා.

රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරු වලට ඇතුලු වෙලා  පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඩ දෙන සත්වයන්ගේ හඩ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.

මහා රෞරව නිරය - අතිශයින්ම දරණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා. තුණුරුවන්ට අයති, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.

තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල් වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විදිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනිතැබූ අය මෙහි උපදිනවා.

ප්‍රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විදිනවා.  මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෟෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.

අවිචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා.  මෙහි උපදින සත්වයෝ  හැම පැත්තකින්ම එන ගිනි දැලි වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන්ද සිටිනවා.ගිනිදැල් වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන්ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා.  ආනත්තරීය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්‍යයන් කැඩූ, පිළිම විනාශකළ, බෝධි රුක්ෂයන් විනාශකළ, බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැර ගත්, මිත්‍ර ද්‍රෝහීන් , භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව  අය, මත්පැන් පානය කළ අය සහ මිත්‍යාදෟෂ්ඨිකයින් එහි උපදිනවා.

කුඩා නිරයන් - ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය,  සම්බලීවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකෑරුණු අසුචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන , උණ ගස්,පොළ ගස්,තල් ගස් පමණ මහත පණුවන් ගැවසීගත් තැනක්.  කුක්කුල නිරය කියන්නේ, යටින් ගිනි අගුරු ඇති අළු වලින් පිරුණු තැනක්.  අසිපත් වන නිරය කියන්නේ,  කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි.  සිම්බලීවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි. තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැන වදාළා.

ලෝකාන්තරික නිරය -  ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අදුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැ‍ටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.

 මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට.

      එසේ මේ තුන් ලොවම කම්පා කරවමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේනමකගේ බුද්ධශාසනයක යි අප මේ ඉන්නේ. ඒ ගෞතම බුද්ධශාසනය යි.

මේ ගෞතම බුද්ධරාජ්‍යය තුළ, මෙකළ මනු ලොව උපන් පින්වත් මිනිසුනේ , ඔබට නැවත සතර අපායට නොවැටෙන්නටත්, සතර අපා දුකින් මිදෙන්නටත්, ගෞතම සසුනේ පිහිට ලබන්නටත් උතුම් වු තිසරණයේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා..!

මෙතනින් වැඩි දුරට