Saturday 1 June 2013

භාග්‍යවතුන් වහන්සේ වදාළ සුර-අසුර ලෝක

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ මහාකාරුණිකයි. අසමසමයි. බොහෝ ගුණයන්ගෙන් යුත්තයි. උන්වහන්සේගේ බුදුගුණ අතර ලෝකවිදූ ගුණය විශේෂය. සියලුම ලෝක සමග භාග්‍යවතුන් වහන්සේ ඍජු සම්බන්ධකම් පැවැත්වූවා. එනිසා අපට නොපෙනන ලෝක පිළිබඳව ඉගෙන ගැනීමට දැන ගැනීමට හැකියාව ලැබුණා. ඒ අතර සුර – අසුර ලෝක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ දේශනා තිබෙනවා. ඒ දේශනා පරිශීලනය කරද්දී සුර සහ අසුර ලෝක විස්තරාත්මකව විග්‍රහ කොට තිබෙනවා.
සුර – අසුර ලෝක අතරින් සුර ලෝකය පිළිබඳව අපට වැටහීමක් තිබෙනවා. සක්දෙවිඳුන්, චාතුම්මහරාජික, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිතිවසවර්තී දිව්‍යලෝක වගේ ම බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහබ්‍රහ්ම, පරිත්තාභව, අප්පමානාභ, ආභස්සර, පරිත්තසුභ, අප්පමානසුභ ආදී බ්‍රහ්ම ලෝක සියල්ලම අයිති වන්නේ සුර ලෝකවලට යි.
බුද්ධ දේශනාවල අසුර කියන කොට්ඨාසය ගැනත් විස්තර සඳහන් වෙනවා. මේ අසුර ලෝක චාතුම්මහාරාජික වගේ දිව්‍යලෝක සමඟ යම් යම් යුද්ධ කරගත් අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා.
විශේෂයෙන් ම ධජග්ග සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ‘පින්වත් මහණෙනි, මෙය පෙර වූ දෙයක්. සුර අසුර යුද්ධයක් හට ගත්තා.
එවලෙහි සක්දෙවිඳුන් සුරයන් කැඳවා ප්‍රකාශ කළා ඔබ යුද්ධ කරන වෙලාවේ දී බියක් හෝ තැතිගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් ඇති වුවහොත් සක් දෙවිඳුගේ කොඩියේ මුදුන සිහි කරන්න. එසේ කරන්න අමතක වුණොත් ප්‍රජාපති දෙවියන්ගේ කොඩියේ මුදුන සිහි කරන්න.
ප්‍රජාපති දෙවියන්ගේ කොඩියේ මුදුන සිහි කරන්න බැරි වුණොත් වරුණ දෙවියන්ගේ කොඩියේ මුදුන සිහි කරන්න. වරුණ දෙවියන්ගේ කොඩියේ මුදුන සිහිකළ නොහැකි වුවොත් ඊසාන දෙවියන්ගේ කොඩියේ මුදුන සිහි කරන්න. එවිට යම් බියක් තැතිගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් ඇතිවුවොත් එය ප්‍රහානය වේවි කියලා.
ඉතිං භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි සක් දෙවිදුගේ කොඩියේ මුදුන සිහි කිරීමෙන් දෙවියන්ගේ බය තැති ගැනීම ප්‍රහානය වෙන්නත් පුළුවනි. ප්‍රහානය නොවෙන්නත් පුළුවනි. මක් නිසා ද සක්දෙවිඳුන් රාග, ද්වේෂ, මෝහය සහිතයි. ඔහු බිය හටගෙන පලායන ස්වභාවයෙන් යුක්තයි කියලා. එයින් පැහැදිලි වන්නේ දෙවිවරු පවා යම් යම් අවස්ථාවල දී බිය හටගෙන පලායන ස්වභාවයෙන් යුක්තයි.
ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ අසුරයන් ගැනත් දේශනා කළා. එහි සඳහන් වෙනවා ‘පින්වත් මහණෙනි සුර අසුර යුද්ධයත් හට ගත්තා. එහි දී දෙවියන් අමතා සක් දෙවිඳු කියනවා දැන් සුර අසුර යුද්ධයක් හට ගන්නයි හදන්නේ. අසුරයන් පැරදුණොත් ඔවුන්ගේ නායකයා වූ වේපචිත්ති අසුරේන්ද්‍රයාව ජීවග්‍රහයෙන් අල්ලාගෙන අත්දෙකයි කකුල් දෙකයි හිසයි පස්තැන සිරකර සුදත් සභාවට රැගෙන එන්න කියනවා.
ඒ වගේ ම වේපචිත්ති අසුරේන්ද්‍රයාත් තමාගේ අසුර පිරිසට කියනවා දැන් සුර අසුර යුද්ධයක් හට ගන්නයි යන්නේ. සුරයන් පරාජයට පත්වුණොත් ඔවුන්ගේ නායකයා වූ සක්දෙවිදුන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන පස්තැන සිරකොට තමා ළඟට අරගෙන එන්න කියලා. මේ යුද්ධයේ දී වේපචිත්ති අසුරයා පරාජයට පත්වෙලා ඔහු ව ජීවග්‍රයෙන් අල්ලා ගන්නවා. පරාජිත වේපචිත්ති යම් විටක සිතනවා ද දෙවියෝ යහපත්. ධාර්මිකයි. අසුරයන් අයහපත් අධාර්මිකයි කියලා ඒ වෙලාවේදී ඔහුට දිව්‍ය සැප පහළවෙලා ඒ සැප භුක්ති විඳින්න පුළුවන්.
දිව්‍ය සැප භුක්තිවිඳින විට ඔහු සිතුවොත් මම අසුර ලෝකයට යනවා දෙවියෝ අධාර්මිකයි. අසුරයන් ධාර්මිකයි කියලා ඒ සමඟම ඔහුගේ ගෙල පස්වන කොට දෑත දෙපය සිරවෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, වේපචිත්ති බන්ධනය හරි භයානක දෙයක්, සිතුවිල්ලකින් බැඳෙනවා. සිතුවිල්ලකින් ලිහෙනවා. නමුත් මහණෙනි, මාරයාගේ් බන්ධනය ඊටත් වඩා සියුම්. ඉතාමත් සියුම් ආකාරයට සත්ත්වයා එයට බැෙඳනවා කියලා. මේ හැම දෙයින් ම අපට පේනවා සුර අසුර කියා කොටස් දෙකක් තිබෙන බව.
මේ සුර අසුර කොටස් දෙකින් අප්‍රකට අප නොදන්නා කොටස තමයි අසුර කොට්ඨාසය. අසුරයන් ගැන විස්තරයක් තිබෙනවා සක්කසංයුක්තියේ මායා සූත්‍රයේ. එහි සඳහන් වෙනවා වේපචිත්ති කියන අසුරයා අසනීපව සිටිය දී සක්දෙවිඳු අසුරේන්ද්‍රයාව බලන්න යනවා. එවිට සක්දෙවිඳුට වේපචිත්ති කියනවා, දේවේන්ද්‍රය මම බොහෝ අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මට ප්‍රතිකාරයක් කරන්න කියලා. සක්දෙවිඳු අසුරේන්ද්‍රයාට කියනවා වේපචිත්ති මම ඔබට ඖෂධ ලබා දෙන්නම් මට, ‘සම්බරි මායාව’ උගන්වන්න කියලා. වේපචිත්ති කියනවා මට ඒක ඔබට කියා දෙන්න නම් මම අසුර පිරිසගෙන් අහන්න ඕන කියලා වේපචිත්ති අසුරයන් කැඳවලා ඒ පිළිබඳව අසා සිටිනවා. එවිට අසුර පිරිස කියනවා එපා ඔබ ඒ ‘සම්බරි මායාව‘ උගන්වන්න එපා කියලා. එය සමහර විට අසුරයන් සතු මන්ත්‍ර විජ්ජාවක් විය හැකියි.
අප දන්නවා භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුන විට දී බිම්බරක් සේනා සහිත මාරයා පරාජයට පත්වුණා. මේ මාර සේනාව පිළිබඳව දේශනා අධ්‍යයනය කිරීමේ දී අපට පැහැදිලිවන්නේ මාර සේනාව කියන්නේ් අසුර බලයක් කියලා. මේ අසුර බලවේගය තමයි ලෝකයේ නිරන්තරයෙන් ම බලපවත්වන්නේ. දෙවිවරුන් මිනිසුන් සමඟ ළංවෙලා කටයුතු කරන්නේ බුද්ධ කාලයේ දී පමණයි. බුදුරජාණන් වහන්සේගේ යුගයේ දී රහතන් වහන්සේගේ යුගයේ දී දෙවි මිනිසුන් අතර බොහෝ සමීප සබඳතා තිබුණා. ස්වර්ණමාලි චෛත්‍ය හදන්න දුටුගැමුණු රජතුමා සිතූ මොහොතේ පටන් දෙවිවරු පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේ ම ථූපාරාම ස්තූපය හදන්න පටන්ගත් මොහොතේ සක්දෙවිඳුන් පුද පූජා කරමින් වන්දනාමාන කළ හකු ධාතුව සුමන සාමනේරයන් වහන්සේට පූජා කළා.
මේ සියලු දෙයින් පැහැදිලි වන්නේ දෙවියන්ගේ නිරන්තර සහයෝගය ගෞතම බුදු සසුන බබලන අවධියේ දී මිනිසුන්ට ලැබිලා තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් මනුෂ්‍යා සමග තිබෙන සුර සම්බන්ධය ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට පත්වෙලා අසුර සම්බන්දය තමයි ඉදිරියට ඇවිත් තිබෙන්නේ. බොහෝ විට අසුර බලය තිබෙන්නේ මන්ත්‍ර බලයත් සමඟයි. ඒ තුළ ධාර්මික අධාර්මික බවක් නැහැ. ඔවුන්ගෙන් යමක් ඉල්ලනවාද එය ඔවුන් කර දෙනවා.
එය මේ වගේ දෙයක්. කෙනෙක් තව පුද්ගලයෙකුට කියනවා ඔබට මම මෙතරම් මුදලක් දෙනවා අර පුද්ගලයාට නිගාවෙන ආකාරයට අපහාස කරන්න. නැතිනම් ඔබට මම මත්පැන් බෝතලයක් දෙනවා අසවලාට තර්ජනය කර බැණ වදින්න කියලා. ඉතිං මත්පැන් බෝතලය ගත් නිසා අනිවාර්යයෙන් ම එය කරනවා. ඒ වගේ ම තමා තමාට පුද පූජා පවත්වලා නොයෙක් ආකාරයට බලිබිලි දීලා ලේගොටු දීලා මන්ත්‍ර ජප කරනවා. ඒ මන්ත්‍ර බලයට අසුරයන් බැඳෙනවා. බොහෝ විට මේක වෙන්නැති සම්බරි මායාව කියන්නේ. එහෙම බැඳුනාම එයාලට මොකුත් කරන්න බැහැ. ඒ අයට කියනවා ඔබ මේ පූජාව අරගෙන අසවලාට වින කරන්න. එයා ඒක කරනවා. මේක සම්පූර්ණයෙන් ම අසුර බලවේගයක්.
අසුරයන්ගේ ස්වභාවය තේරුම් ගන්න හොඳ උදාහරණයක් තිබෙනවා. සක්ක සංයුක්තයේ ඉසසෝසමුද්දඛ සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි මෙය පෙර සිදු වූ දෙයක්. බොහෝ සීලවන්ත කල්‍යාණ ධර්මයෙන් යුතු වූ ඉෂිවරු මුහුදු තීරයේ පංසල් තනාගෙන වාසය කළා.
ඒ කාලයේ දී සුර අසුර යුද්ධයක් හට ගත්තා. ඍෂිවරු හිතුවා දෙවියන් ධාර්මකයි. අසුරයන් අධාර්මිකයි. අසුරයන් දිනුවොත් අපට කරදර වේවි. ඒ නිසා අපි සම්බර කියන අසුරයා වෙත ගිහිං ඔහුගෙන් අභය දානය ඉල්ලිය යුතුයි කියලා.
ඊට පස්සේ ඍෂිවරු පිරිස එතැනින් නොපෙනී ගිහිං සම්බර කියන අසුරයා ඉදිරියේ පහළ වෙලා කියනවා ‘අසුරේන්ද්‍රය, ඍෂිවරු ඔබ ඉදිරියේ මෙසේ ඔබෙන් අභයදානය ඉල්ලා සිටිනවා. ඔබට මනුෂ්‍යයාට බය දෙන්නත් පුලුවනි. අභය දෙන්නත් පුළුවනි. ඔබ කැමැති දෙයක් දෙන්න කියලා.
සම්බර අසුරයා පිළිතුරු දෙනවා ‘ශ්‍රක්‍රයා අපට විරුද්ධයි. ඔබ ඇසුරු කරන්නේ ඒ ශක්‍රයාවයි. ඒ නිසා අභය ඉල්ලන ඔබට මම බියම දෙමි’ කියලා.
එතකොට ඍෂිවරු කියනවා අප අභය ඉල්ලදීත් ඔබ අපට බියම දෙනවා. අපට කරන්න දෙයක් නැහැ. නමුත් ඔබට කිසිදා බිය සේ නොවේවා! කියා සම්බර අසුරයාට සාප කර යනවා.

 කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.