Sunday 19 May 2013

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නැමති මහායානයේ හෙලුව.

සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති

මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ රජගහ නුවර ගිජුකුළු පව්වේ දොළොස් දහසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කරද්දී ඒ පිරිසත් හයදාහක් පමණ වුණු භික්ෂුණීන් වහන්සේලාත්, අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත් ඒ හැරෙන්න දිව්‍ය, බ්‍රහ්ම, කිඳුරු, මකර, ගරුඬ රාජයන් උදෙසා තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. මේක මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයයි.
මහායාන බුදු දහමේ ඉගැන්වෙන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ලොවුතුරා බෝධියටම පත්විය යුතුයි කියලා. ඒක හොඳින්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් අවධාරණය කරනවා. ථේරවාදී බුදු සමයේ දැක්වෙන විදිහට නිවන් අවබෝධ කරගනිපු මහ රහතන් වහන්සේලා වුණු සැරියුත්, මුගලන් ආදී වූ ශ්‍රාවකයන් වහන්සේලා අනාගතයේදී බුද්ධත්වයට පත්වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නා ආකාරය මේ සූත්‍රයේදී විස්තර කෙරෙනවා.
ඒකේ දැක්වෙන විදිහට බුදුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා හැමෝටම වගේ නියත විවරණ ලබා දෙනවා මතු බුදුවෙනවාය කියලා.
ඒ අනුව අනාගතයේදී සැරියුත් මහ රහතන් වහන්සේ පද්ම ප්‍රභා නමින්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රශ්මි ප්‍රභාශ්වර නමින්, සුභූති රහතන් වහන්සේ ශෂිකේතු නමින්, මහා කච්චායන මහ රහතන් වහන්සේ ජම්බුනදප්‍රභාස නමින්, මුගලන් මහ රහතන් වහන්සේ තමාලාපත්‍රචන්දන ගන්ධ නමින්, පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ ධර්ම ප්‍රභාශ්වර නමින් බුද්ධත්වයට පත් වෙනවා. 
මේ සූත්‍රයේදී විස්තර  කරන පරිදි ඒ අවස්ථාවේ ගිජුකුළු පව්වේ වැඩ සිටිය දොළොස් දහසක් පමණ වුණු මහ රහතන් වහන්සේලා සියලු දෙනාම අනාගතයේදී අනුපිළිවෙළින් බුද්ධත්වයට පත්වෙනවා. උන් වහන්සේලා සියලු දෙනාවම හඳුන්වන්නේ සමන්තප්‍රභාස බුදුන් වහන්සේ කියලා.
මේ හැරෙන්න සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබෙන තවත් සිත් ඇදගන්නා සුළු කතා පුවතක් තමා බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරද්දී බුදුන් වහන්සේ ඉදිරියෙන් සත් රුවනින් සෑදුණු මහා ස්ථූපයක් පහළ වුණු සිදුවීම.
යොදුන් 500 ක් උස යොදුන් 250 ක් පළල වුණු මේ මහා ස්ථූපය මහ පොළව පලාගෙන තමා මතු වෙන්නේ. ස්ථූපයේ හතර වටින් සඳුන් සුවඳක් විහිදෙනවා වගේම ධජ පතාකවලින් ස්ථූපය අලංකාර කරලා තියෙන්නේ. මේ ස්ථූපයට දෙව් බඹුන් පුද පූජා පවත්වන්න පටන් ගන්නවා.
ඒ අවස්ථාවේදී ස්ථූපයෙන් හඬක් නිකුත් වෙලා "තථාගත ශාක්‍ය මුනින්ද්‍රයාණෙනි, ඔබවහන්සේ බුදුවරුන්ගේ මනසේ තබා ආරක්ෂා කොටගෙන සිටින්නා වූ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මේ මහා සභාවේ සිටින සියලු දෙනා ඉදිරියේ විශිෂ්ඨ අන්දමින් දේශනා කරන්නෙහිය. ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයකි" කියලා ප්‍රකාශ කරනවා.
මේ සිද්ධියෙන් සභාවේ සියලු දෙනාම පුදුමයට පත්වෙනවා. ඒ නිසාම මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ මේ ස්ථූපය කුමන හේතුවක් නිසා පැන නැඟුණාද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා.
ඒකට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ වදාරනවා ඉතාම ඈත අතීතයේ ප්‍රමාණ කළ නොහැකි දහස් දස දහස් ලක්ෂ කෝටි ගණන් ලෝක ධාතුවලට නැගෙහිරට වන්නට තිබුණු රත්න විසුද්ධි ලෝක ධාතුවේ වැඩ වාසය කරපු ප්‍රභූතරත්න නම් බුදුන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී අධිෂ්ඨාන කරනවා අනාගතයේ දස දිසාවේ කිසියම් තැනක සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනවාද එයට සවන් දීමටත් එය සත්‍යයි කියලා වර්ණනා කරන්නත් තමන් වහන්සේගේ ශරීර ස්ථූපය පැන නගින්න කියලා.
ඒ අධිෂ්ඨානය පරිද්දෙන්ම එය සිදුවුණු බව බුදුන් වහන්සේ වදාරනවා. මේ විස්තරය අහපු මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ කියනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරය දැකගන්න අපි කැමතියි. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යය බලයෙන් උන්වහන්සේව අපට පෙන්වන්න කියලා.
ඒකට පිළිතුරු විදිහට බුදුන් වහන්සේ වදාරනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න ස්ථූපය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම සිව් වණක් පිරිසට මගේ දේහය දැකගන්න අභිලාෂයක් ආවොත් එය පෙන්වන්නේ දස දිසාවේ ධර්මය දේශනා කරන බුදුන් වහන්සේගේ නිර්මිත බුදුවරු ආපසු ගෙන්වා එක් රැස් කරලා ඒ බුදුන් වහන්සේගේ වටා සිටීමෙන් පසුවයි කියලා.
මහා ප්‍රතිභාන බෝසතණාන් වහන්සේ ඇතුළු පිරිස බුදුන් වහන්සේගෙන් ප්‍රභවය වුණු දස දිසාවේ සිටින බුදුවරුන් දැකගන්න කැමති වුණු නිසා බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරා විහිදිලා දස දිසාවේම තියෙන ලෝක ධාතුවල ධර්මය දේශනා කරන බුදුන් වහන්සේලාව පෙන්නුම් කෙරෙනවා.
ඒ අවස්ථාවේදී ඒ ඒ බුදුන් වහන්සේලා ශාක්‍යමුනි [ගෞතම] බුදුන් වහන්සේගේ සිතැඟියාව තේරුම් අරගෙන සභා ලෝකයට වැඩම කරවනවා. මේ ආකාරයෙන් දස දිසාවෙන් වැඩම කරවන බුදුන් වහන්සේලාට වැඩ ඉන්න බුද්ධ ක්ෂේත්‍ර ශාක්‍යමුනි බුදුන් වහන්සේ විසින් මවනවා.
අවසානයේදී දස දිසාවේම බුදුන් වහන්සේලා වැඩම කරවීමෙන් පස්සේ ශාක්‍යමුනි බුදුන් වහන්සේ වැඩ සිටි අසුනෙන් අහසට වැඩම කරලා රතන ස්ථූපය දොර විවෘත කරනවා. මහා නගරයක දොරටුවක් විවර වෙන හඬින් මේ ස්ථූපයේ දොරටුව විවර වෙනවා සමඟම සිහසුනක වැඩ ඉන්න ප්‍රභූතරත්න බුදුන් වහන්සේව සියලු දෙනාටම දැකගන්න පුලුවන් වෙනවා.
ජීවමාන ස්වරූපයෙන්ම වැඩ සිටින ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරයෙන් නැවත වරක් "සාධු සාධු ශාක්‍යමුනි බුදුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රවණය කිරීමට මම මෙහි පැමිණියෙමි" කියන හඬ නිකුත් වෙනවා.
ඒ අවස්ථාවේදී ප්‍රභූතරත්න බුදුන් වහන්සේ වැඩ සිටින සිහසුනේ අඩක වැඩ ඉන්න ශාක්‍ය මුනි බුදුන්වහන්සේ පහළ සිටින සිව් වණක් පිරිසගේ සිතැඟියවා වටහාගෙන ඔවුන්වත් ඉහළ අහසට ඔසවා තබනවා. පසුව සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ධර්මයේ වටිනාකම දේශනා කරනවා.
මේ කතාව ඇතුළෙත් මහායාන බුදු සමයේ දැක්වෙන ප්‍රධාන සංකල්පයක් ඉස්මතු කරලා තිබෙනවා. ඒ තමා සැබෑ බුදුන් වහන්සේ සභා ලෝකයේ වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් නිර්මිත වුණු නිර්මිත බුදුන් වහන්සේලා දස දිසාවේ ලෝකවල වැඩ සිටින බවත් දැක්වෙන පුවතින් නිර්මිත බුදුන් සංකල්පය.
මහායානිකයන් පිළිගන්න තවත් මතයක් තමා සැබෑම බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයේ [සමහර විටෙක සුඛාවතී ලෝකයේ] වැඩ සිටින බවත් මිනිස් ලොව වැඩ සිටියේ උන්වහන්සේගේ නිර්මිත බුදුරුවක්ය කියන එක. ඒ බුදුරුව ආහාර ගත්තේ, නිදා ගත්තේ හුදෙක්ම මිනිසාට පෙනෙන්නට විනා ඒ බුදුරුවට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ කියන අදහසත් ඔවුන් දක්වනවා.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව හුදෙක් මහායානිකයන් විසින් වංචනිකව හදාගන්නා ලද්දකි.
 මෙය සිංහලයට පරිවර්ථනය කලේ  පී බී වරාවැව කියන හිටපු විනිසුරැ වරයෙක් විසිනුයි.
 පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා  කියල අනාගතයේ බිහිවන දුසිම් ගනන් බුදු වරැන්ට වඳින්න ගාථා බිහිඋනේ ඔන්න ඔහොමයි.
මහායානිකයන් ගොතපු ලංකාවතාර සූත්‍රය බලනවනම් මෙතනින්